Bullmastiff යනු විශාල ප්‍රමණයේ (large breed) ගෘහස්ථ සුනඛ වර්ගයක්. Working Dog  හා  Guard Dog ලෙස අන්තර්ජාතික සුනඛ සංගම් (Kennel Club) විසින් බුල්මස්ටිෆ්ලව වර්ගිකරණය කර තිබෙනවා.

ස්වභාවය : ආදරණීය, පක්ෂපාති, නිර්භීත

Bullmastiff Dog Sri Lanka

උස: පිරිමි-  25-27 (අඟල්) / ගැහැණූ-  24-26 (අඟල්)

බර: පිරිමි-50-59 (කිලෝ) / ගැහැණූ 45-54 (කිලෝ)

ආයු අපෙක්ෂාව: 8-10 (අවුරුදු)

(**ඉහත දත්තයන් අන්තර්ජාතිකව පිළිගනු ලබන ප්‍රමාණ වන අතර දෙශිය තත්වයන් යටතෙ මඳ වශයෙන් වෙනස් වියහැක.)

විශාල හා ශක්තිමත් ශරීරයකට උරුමකම් කියන Bullmastiff සුනඛයන් තම ස්වාමියාට හා පවුලේ අයට පණමෙන් ආදරය කරන සුනඛ වර්ගයක් ලෙස ප්‍රසිද්ධයි. අතීතයේ මුර බල්ලන් ලෙස යොදාගත්තත් තම ස්වාමියාට හා පවුලට දක්වන පක්ෂපාතීකම සහ අසීමිත ආදරය නිසාම වර්තමානය වෙනවිට පවුලේ සුනඛයෙක් ලෙස (family Dogs) බුල්මස්ටිෆ්ලා ලොව පුරා ඇතිකරනු ලබනවා.  දැවැන්ත ශරිරයකට උරුමකම් කිව්වත් Bullmastiff කියන්නෙ තැන්පත්ව ඉන්න කැමති නිවුනු ගතිගුණ තියෙන සුනඛ වර්ගයක්. ඒ වගෙම ආදරයට ඉතාම ලැදි සුනඛ වර්ගයක්. නිතරම තමන්ගේ ස්වාමියාගේ පස්සෙන් හෙවනැල්ලක් වගේ ඉන්න මෙයාලා හරිම කැමතියි. බුල්මස්ටිෆ් කෙනෙක් ගෙදරක ඉන්නවා කියන්නෙ ගෙදර පොඩි ළමයෙක් ඉන්නවා වගේයි. මෙයාලා ඉන්නවනම් ගෙදර කිසිම පාළුවක් කම්මැලිකමක් දැනෙන්නෙ නෑ . හැබැයි ඒ නිසාම කාර්‍යබහුල ජිවිත ගතකරන, සුනඛ සුරතලා වෙනුවෙන් කාලය වැයකරන්න අසීරු අයට නම් Bullmastiff ලා එච්චර ගැලපෙන්නෙ නෑ.මොකද මෙයාලා ජිවිතයම තමන්ගේ ස්වාමියා කරගත්ත බල්ලන් වර්ගයක්. බුල්මස්ටිෆ්ලා බුද්ධිමත් වගෙම සංවේදියි. කොච්චර සංවේදිද කියනව නම් තමන්ගේ පවුලේ කෙනෙක් තදින් බැන්නත් මෙයාලා ලෙඩ වෙන්න වුනත් පුළුවන් කියනවා. ඒ වගෙම ඔය වගෙ වෙලාවට තරහා වෙලා මුණවත් බලන්නෙ නැතුව ඉන්නත් මෙයාලා හොඳට දන්නවා. ඒ වගෙම ස්වාමියාගේ හැඟිම් තෙරුම් ගන්නත් මෙයාලට හොඳ හැකියාවක් තියෙනවා .  

ඉතින් කලින් කිව්වනේ මෙයාලා තැන්පත්, ආදරණිය සුනඛ වර්ගයක් කියලා. හැබැයි අවශ්‍ය අවස්ථාවලදි හා තමන්ගේ පවුලේ අයට කරදරයක් වුනොත් නම් Bullmastiff කියන්නෙ යකෙක් වගේ රෞද්‍ර බල්ලෙක්.

මෙයාලව සමාජශීලි කරලා හුරතලයට හදන්න පුළුවන් වගෙම අවශ්‍යය නම් සැරට හදන්නත් පුළුවන්.  හැබැයි බුල්මස්ටිෆ් කෙනෙක්ගේ සපාකැමට ලක්වුනොත් නම් ලේසි වෙන්නෙ නෑ. මොකද ලොකයේ සැපුම් බලය වැඩිම සුනඛයන් අතර Bullmastiff ලා ඉස්සරහින්ම ඉන්නවා. සාමන්‍යයෙන් සැර බල්ලන් ලෙස ප්‍රසිද්ධ Rottweiler, Pit Bull වගේ සුනඛයින්ටත් වඩා  Bullmastiff ලාගේ සැපුම් බලය වැඩියි. ඒ වගේම විශාල ශරිරයක් හා හොඳ ශක්තියක් තියෙන බල්ලෙක් නිසා කොපාවිෂ්ඨ බුල්මස්ටිෆ් කෙනෙක්ට අහුවෙන එක ඒ තරම් ප්‍රියජනක අත්දැකිමක් වෙයි කියලා කියන්න අමාරුයි.
හැබැයි බයවෙන්න එපා. කොච්චර ලොකු වුනත් බලයක් තිබ්බත් තමන්ගේ පවුලේ අයට නම් මෙයාලා කිසිම කරදරයක් කරන්නෙ නෑ. මොනවා කරත් ඉවසන් ඉන්නවා.

couple of bullmastiff


Bullmastiff ලා ගැන සදහන් කරන්න පුළුවන් විශෙෂම දෙයක් තමයි මෙයාලා ඉතාමත් හොඳ මුර සුනඛයන් වර්ගයක්. මෙයාලව පුහුණු කරත් නැතත් මෙයාලා තමන්ගේ පවුලේ හා නිවසේ ආරක්ෂාව ගැන ඉතාම විමසිලිමත්.  නිතරම වටපිටාව සොදිසි කරමින් අවධානයෙන් ඉන්න එක මෙයාලා පුරුද්දක් විදියට කරන දෙයක්.   ඒ නිසාම නිවසේ ආරක්ෂාවටත් Bullmastiff කියන්නෙ අංක එකේ තෙරිමක්.
MY BAW SRI LANKA අපිට තියෙන අත්දැකිම් අනුව දවල් කාලයට වඩා රාත්‍රි කාලයෙදි මෙයාලගේ ක්‍රියාකාරිත්වය වැඩියි. රාත්‍රියට නිවසේ වටේ සක්මන් කරමින් හොයලා බලන්න මෙයාලා අමතක කරන්නෙ නෑ.  ඒ වගෙම ස්වාමියා ළගට වෙලා ගොරව ගොරව නිදාගන්නත් මෙයාලා හරිම කැමතියි. නින්ද ගැන කියනවනම් හෙවනැල්ලක් වගේ ස්වාමියා  පස්සෙන් යන වෙලාවටයි ස්වෙච්ඡා මුරසෙවය කරන වෙලාවටයි කන වෙලාවටයි හැරෙන්න අනිත් හැමවෙලාවෙම නිදාගන්න මෙයාලා හරිම කැමතියි. හැබැයි කොච්චර නිදාගත්තත් පුංචි සද්දයක් ඇහුනොත්, නැත්තම් ඉවක් දැනුනොත් මෙයාලා අසුරු සැනින් නැගිටලා එතනට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා නිදාගෙන හිටියත් Bullmastiff ලගෙන් හොරුන්ට නම් No Chance.

ඉව ගැන කියනව් නම් බුල්මස්ටිෆ් කියන්නෙ හොඳ ඉවක් තියෙන බල්ලෙක්. ඒ නිසාම මෙයාලා ශ්‍රී ලංකා පොලිසියේ පවා සේවය කරමින් අපිට ආරක්ෂාකාරිව ඉන්න නීතිය හා සාමය රකින්න උදව් වෙනවා. මෑත කාලයෙත් ශ්‍රී ලංකා පොලිස් නිළ සුනඛ අංශයේ Bullmastiff සුනඛයෙක් කිලෝමීටර් ගාණනක් හඹාගොස් මිනීමරුවන් පිරිසක් අල්ලගන්න සමත්වුනා. (ඒ කතාව මෙතනින්)



ඉතිහාසය:

බුල්මස්ටිෆ්ලාගේ නිජබිම වන්නෙ බ්‍රිතාන්‍ය  එක්සත් රාජධානිය .English Mastiff හා Old English Bulldog යන සුනඛ වර්ග දෙක අභිජනනය කිරිමෙන් 19 වන සියවසේදි  මෙම සුනඛ වර්ගය නිර්මාණය කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් වතුයායන්/දඩබිම් අනවසර දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කිරිම අරමුණු කරගෙනයි බුල්මස්ටිෆ් සුනඛ වර්ගය නිර්මාණය කර තිබෙන්නෙ. ඒ වගෙම දකුණු අප්‍රිකාවේ දියමන්ති පතල් ආරක්ෂා කිරිමටත් Bullmastiff ලව භාවිතා කරලා  තියෙනවා.English Mastiff 60%  Old English Bulldog 40% යන අනුපාතයෙන් අභිජනනය කරලා තමයි Bullmastiff කියන අපුරු සුනඛ වර්ගය බිහිවුනේ.

1924 දි English Kennel Club විසින් මෙම සුනඛ වර්ගය purebred එකක් ලෙස ලියාපදිංචි කිරිම සිදුකර තිබෙනවා.

අංග ලක්ෂණ:

අගල් 27ක් පමණ උස, ශක්තිමත් මාංශපේෂි, පුළුල් හිස, කෙටි ලෝම

වර්ණ:

දුඹුරු(fawn),රතු සහ බ්‍රින්ඩල් (brindle) යන වර්ණ සම්මත වර්ණ ලෙස සලකනවා. මෙම වර්ණවල ලා වර්ණයේ සිට තද වර්ණ දක්වා පරාසයක සුනඛයන් දැකගන්න පුළුවන්.සමහර බුල්මස්ටිෆ්ලාගේ පපුවේ ස්වල්ප වශයෙන් සුදු පාට පවතින අතර සමහර  අයගේ එසේ නෑ.

පුහුණු කිරිම :

Bullmastiff ලව පුහුණු කිරිම තරමක් අපහසුයි. ඒකට හේතුව Bullmastiff ලගේ අඩුපාඩුවක් නම් නෙමෙයි. මෙයාලා හරිම Smart සුනඛ වර්ගයක්. තනිවම හිතලා බලලා තිරණ ගැනිමේ හැකියාවක් Bullmastiff ලට තියෙනවා. ඒ නිසාමයි මෙයාලව පුහුණු කිරිම තරමක් අපහසු වන්නේ. නමුත් නිසිආකරව ඉවසිල්ලෙන් පුහුණු කරොත් හොඳින් පූහුණු කරන්න පුළුවන්. ඒකනේ ශ්‍රී ලංකා පොලිසියෙත් මෙයාලා සේවය කරන්නෙ.ඒ වගෙම පුහුණු නොකරත් හැමදෙයක්ම නිසිආකරව තෙරුම් ගෙන ක්‍රියාකිරිමේ හැකියාවක් මෙයාලට තියෙනවා. නමුත් දැවැන්ත ශක්තිමත් සුනඛ වර්ගයක් නිසා පොඩිකාලෙදිම සමාජගත කරලා හදන එක වගෙම හිමක්මවා ගන්න එක කොකටත් හොඳයි කියලා My Baw Sri Lanka අපි නිර්දෙශ කරනවා.

ව්‍යායාම:

බුල්මස්ටිෆ් කියන්නෙ විශාල  වශයෙන් ව්‍යායාම අවශ්‍යය නොවන  වර්ගයක්.. ඒ නිසාම දැවැන්ත ශරිරයක් තිබුනත් මෙයාලව අඩු ඉඩක් තියෙන නිවසක වුනත් හදන්න පුළුවන්. හැබැයි  දිනපතා ඇවිදිමේ ව්‍යායාම හෝ ලබාදෙන්නම ඕන. ඒක ඔනම සුනඛයෙක්ට වැදගත්. විශෙෂයෙන් Bullmastiff ලා ස්වාමියා එක්ක ඇවිදිම හුගක් ප්‍රියකරනවා. එළියේ විවිධ දෙවල් ඉව කරලා ඕපදුප හොයන්නත් එයාලා හරිම කැමතියි.ව්‍යායාම ඔබේ සුරතලාගේ ශරිරික වගේම මානසික සෞඛ්‍යටත් ඉතා අත්‍යවශ්‍යයි කියලා අමතක කරන්න එපා.

brindle color bullmastiff


ප්‍රශ්ණ සහ පිළිතුරු (Questions And Answers)


Q.කුඩා දරුවන් සමග Bullmastiff සුනඛයන් ඇතිකළැ හැකිද?

A. ඔව්. බුල්මස්ටිෆ් සුනඛයන් කුඩා දරුවන් සමඟ ඉතා හොඳින් හැසිරෙනවා. නමුත් වයස අවුරුද්දකට අඩු පැටවෙකු කුඩා දරුවන් සමඟ හැසිරිමෙදි  ඔබේ සුපරික්ෂාව යටතේ හැසිරිමට ඉඩදිය යුතුයි. දරුවාට අනතුරක් නොකළද කුඩා බුල්මස්ටිෆ් පැටවෙකු සතුව පවා අධික ජවයක් ඇති බැවින් ඇගෙ හැපි දරුවන් ඇදවැටිමට ඉඩ ඇත. එමෙන්ම මෙම වයසෙ ඔනැම බලු පැටවෙකු සෙල්ලමට හැපිමට ඉඩඇත.

Q. බුල්මස්ටිෆ් සුනඛයන් අනෙකුත් සුරතලුන් සමඟ ඇතිකළ හැකිද?

A. ඔව්. ඔනම සතෙක් සමග ඉතා හොඳින් ඇතිකළ හැකියි. නමුත් Bullmastiff සුනඛයෙක් ඇති නිවසකට නව සුරතලෙක් ගෙන එමෙදි ඔබේ සුපරික්ෂාව යටතේ හදුන්වා දියයුතුයි.

Q. Bullmastiff සුරතලෙක් වඩාත් ගැලපෙන්නෙ කාටද?

A. ආරක්ෂාව සහා ආදරය දෙකම අවශ්‍යය අයට

Q. බුල්මස්ටිෆ්ලව හදන්න ලොකු වියදමක් යනවද?

A. විශාල සුනඛ වර්ගයක් බැවින් අනෙකුත් සැම විශාල වර්ගයකටම මෙන් වැඩි පොෂදායි ආහර ප්‍රමාණයක් අවශ්‍යයි. ලෝම කබාය සදහා විශේෂ වියදමක් දැරිය යුතු නොවේ. අනෙකුත් වියදම් සාමන්‍යයි .රෝගාතුර අවස්තාවකදි යම් වියදමක් දැරිය යුතුවේ.